වියෝව....



        මේ තිබෙන්නේ 1950 වර්ශයේ එංගලන්තයේ මොරිස් මෝටර් රථ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මොරිස් මයිනර් 1000 ම්දිලියේ මෝටර් රථයක ඇම්පියර් මීටරයකි. එදා ලොකු පොඩි කාගේත් අවදානයට ලක්වූ මෝටර් රථයක් වුනු මෙය අද වන විට කෙමෙන් කෙමෙන් අභාවයට යමින් පවතී. එයට හේතුව ලෙස මා දකින්නේ මෙම මෝටර් රථය තවමත් සුලභව ඇති නිසා මෙය සුරක්ෂිත කල යුතුයි කිසිවෙකුත් නොසිතීමයි.



     1948 සැප්තැම්බර් 20 වැනිදා බ්‍රිතාන්‍යයේ අර්ල්ස් කෝර්ට් මෝටර් රථ ප්‍රදර්ශනයේදී (Earls Court motor show) ප්‍රථම වතාවට එළිදැක්වූ මොරිස් මයිනර් මෝටර් කාරය එකල පැවති සැප පහසුව, මිල හා කාර්යක්‍ෂමතාව යන සියල්ල මනාව එක්තැන් කළ අවස්ථාවකි. මෙහි පළමු ආකෘතිය හඳුන්වා ඇත්තේ මොරිස් මොස්කිටෝ (Morris Mosquito) යන නමිනි. මෙය නිර්මාණයේදී පෙරමුණ ගත් නිර්මාණකරු ලෙස සැළකෙන්නේ ශ්‍රීමත් ඇලෙක් ඉසිගොනිස් ය.      

       1950 වර්ශයේ එංගලන්තයේ දී නිෂ්පාදනය වූ මොරිස් මයිනර් මෝටර් රථය 50-60 දශකවලදී ලොවේ වඩාත් ඉල්ලුම් සහිත මෝටර් රථය බවට පත්වී තිබිණි. ශ්‍රී ලංකාවට මෙම සුපිරි මෝටර් රථයක්‌ පළමු වරට ආනයනය කරන ලද්දේ 1951 දීය. රියෑදුරු ඇතුළු සිව් දෙනකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි වූ එම කුඩා මෝටර් රථය එකල "පවුලේ වාහනය" බවට ද පත් විය. එමෙන්ම බොහෝ දෙනකුගේ ජනප්‍රියම කුලී රථය (Taxi) බවට ද මෙම මෝටර් රථය ප්‍රචලිත විය.
      
       මොරිස්‌ මයිනර් කාර් වර්ග කිහිපයක්‌ ඇත. පළමුවෙන්ම වෙළෙඳ පොළට පැමිණ ඇත්තේ සීරිස්‌ එම්. එම්. නමැති දොර දෙක සහිත මෝටර් රථයකි. ඉන්පසුව සීරිස්‌ එම්. එම්. II  මයිනර් 1000, මයිනර් 1110 ආදී වාහන කිහිපයක්‌ම වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබිණි.

        එකල ශ්‍රී ලංකාවේ දී රුපියල් 6990 කට මොරිස්‌ මයිනර් රථයක්‌ අලෙවි කෙරිණි. හිටපු අගමැති විජයානන්ද දහනායක මහතාගේ ද නිල රථය බවට පත් වූයේ ද මෙම මෝටර් රථයකි. ඉතා ජනප්‍රිය මෙම මෝටර් රථය එකළ දිවයින පුරා බොහෝ ප්‍රචලිත වී තිබිණි. ශ්‍රී ලංකාවට මෙවැනි මොරිස්‌ මයිනර් කාර් 8000 කට ආසන්න සංඛ්‍යාවක්‌ ආනයනය කොට තිබේ. එමෙන්ම එය ලොව පුරා ලක්‌ෂ 16 ක්‌ පමණ අලෙවි වී ඇති බවද පැවසේ.

      බ්‍රිතාන්‍ය අනන්‍යතාව හුවා දක්වන “Face of Britain” පොත් පෙළෙහි මුල් කවර නිරන්තරයෙන් සරසනු ලැබූයේ එරට සුප්‍රසිද්ධ දේවස්ථාන හා ගොඩනැගිලි ආදියෙනි. එහෙත් එයට එක්වූ මෝටර් රථයක් වූයේ නම් ඒ මොරිස් මයිනර් රථයම වූයේය.

       මෙම පැරණි මෝටර් රථ අනාගත පරපුර උදෙසා රැක ගැනීමට අද සිටින තරුණ පරපුරට අවශ්‍ය තාවයක් නැති වීම කණගාටුවට හේතුවකි. 


මොරිස් මයිනර් රථය එදා තිබු ආකාරය.












මොරිස් මයිනර් රථයේ චැසි අංකය සහ නිෂ්පාදකවරයාගේ විස්තර සහිත තහඩුව.





අභාවයට යන මොරිස් මයිනර් ට්‍රවලර් රථයක්.


අභාවයට යන තවත් මොරිස් මයිනර් රථයක්.